Wednesday, September 27, 2023

මාතර දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සුනාමි පෙරහුරු අභ්‍යාසය (IO wave 23) පිළිබඳව පාර්ශ්වකාර ආයතන දැනුවත් කෙරේ

 

එළඹෙන ඔක්තෝබර් 04 වැනිදා මාතර මහාමායා බාලිකා විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සුනාමි පෙරහුරු අභ්‍යාසය (IO wave 23) පිළිබඳව පාර්ශ්වකාර ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී එම අභ්‍යාසයට අදාළව මාතර දිස්ත්‍රික්කයේ පාර්ශ්වකාර ආයතන දැනුවත් කිරීම දිස්ත්‍රික් ආපදා කලමනාකරණ සම්බන්ධිකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා විසින් සිදුකරන ලදි.

ඉන්දියන් සාගර සුනාමි අනතුරු ඇඟවීම සහ අවම කිරීමේ පද්ධති සඳහා අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණ කණ්ඩායම (ICG) සාමාජික රටවල් සමඟ ද්විවාර්ශිකව අභ්‍යාස පවත්වමින් 2016, 2018 ප්‍රජා ඉවත් කිරීමේ අභ්‍යාස පවත්වන ලදි. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආයතනික හදිසි මෙහෙයුම් සැලසුම් පරීක්ෂා කරමින් වටමේස අභ්‍යාස පවත්වන ලද අතර 2023 වර්ෂයෙහි අදාළ අභ්‍යාසය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරිණි.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ උපදෙස් පරිදි එම අභ්‍යාසය මාතර මහාමායා බාලිකා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් මාතර දිස්ත්‍රික් ආපදා කලමනාකරණ සම්බන්ධිකරණ ඒකකය මගින් පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ.

මාතර දිස්ත්‍රික් ආපදා කලමනාකරණ සම්බන්ධිකරණ ඒකකය මහජනතාවට දැනුම් දෙන්නේ මෙම පෙරහුරුව පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් මෙය හුදෙක් අභ්‍යාසයක් පමණක් බවෙත් ය. මෙවැනි අභ්‍යාස ක්‍රියාත්මක කිරීම තුළින් සුනාමි වැනි මහා ව්‍යසනයක් තුළ වූව ද මහජන ජීවිත හා දේපළ වලට සිදුවන හානිය අවම කර ගැනීමට හැකියාව උදාවනු ඇති බව ද එම ඒකකය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

මේ අවස්ථාවට වැලිගම, දෙවිනුවර, මාතර කඩවත් සතර හා දික්වැල්ල ප්‍රාදේශිය ලේකම්වරු, මාතර මහා නගර සභාව, මාතර කලාප අධ්‍යාපන කාර්යාලය, ආරක්ෂක අංශ, විදුහල්පතිවරු, ගුරු භවතුන්, සෞඛ්‍ය අංශ හා වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...