Friday, September 15, 2023

“සරුසාර මාතොට” වගා සංග්‍රාමය - කිරින්ද සමූහ ගොවිපළ

 


මාතර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගෙවතු වගාව දිරිගැන්වීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම අරමුණුකර ගනිමින් එක්ව වවමු - මාතොට නංවමු යන මැයෙන් ක්‍රියාත්මක “සරුසාර මාතොට” වගා සංග්‍රාමයේ දෙවන අදියර යටතේ ආදර්ශ ගොවි බිම් 50 ක් ඇති කිරීමේ කාර්යාවලියට සමගාමීව කිරින්ද සමනමුල්ල විහාරස්ථානයේ සමූහ ගොවිපළ ආරම්භ කෙරිණි.

කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ, බහුකාර්ය සංවර්ධන සහායකයින්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක මෙම සමූහ ගොවිපළ තුළ මේ වන විට වම්බටු, මෑ කරල්, එළ බටු, මඤ්ඤොක්කා, කිරි අල, බෝංචි, තම්පළා, මිරිස් වර්ග හා කෙසෙල් ඇතුළු ආහාර භෝග වර්ග වගාකර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි කලාප 50 නියෝජනය වන ආකාරයට බහු ආංශික ආදර්ශ ගොවිපළ 50 ක් ආරම්භ කර ඇති අතර මීට අමතරව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඍජු මැදිහත්වීම මත රුහුණු සේවා පරිශ්‍රයේ බහු ආංශික ආදර්ශ ගොවිපළ ක්‍රියාත්මක කෙරේ.

“සරුසාර මාතොට” වගා සංග්‍රාමයේ දෙවන අදියර යටතේ යෝජිත ප්‍රධාන වැඩසටහන් වශයෙන් ගෙවතු වගාව දිරිගැන්වීම, මාතර දිස්ත්‍රික්කයේ ආදර්ශවත් ගොවි වගාබිම් 50 ක් ඇති කිරීම, නව කුඩා ව්‍යවසායකයින් බිහිකිරීම, ගෘහස්ත ඵදායීතාවය වැඩිදියුණු කිරීම, පාසල් හැරයන හා උසස් අධ්‍යාපනයට යොමු නොවන තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබා දී රැකියාගත කිරීම, ආර්ථික සහ සමාජීය වශයෙන් ආන්තික පවුල් 6500 ක් සවිබල ගැන්වීම දක්නට ලැබේ.

මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම, දරිද්‍රතාව පිටු දැකීම, මන්ද පෝෂණය තුරන් කිරීම, නවෝත්පාදන හා වෙළදපොල අවස්ථා ප්‍රවර්ධනය තුළින් රැකියා අවස්ථා ඉහළ නැංවිම හා අපනයන ආශ්‍රිත නිෂ්පාදන අවස්ථා ප්‍රවර්ධනය තුළින් රැකියා අවස්ථා ඉහළ නැංවිම මෙහි දිගු කාලීන අරමුණු වේ.

මෙහි දී පෝෂ්‍යදායී අහාර රටාවක් ජනතාව තුළ ප්‍රචලිත කිරීම, උපරිම භූමි පරිභෝජනය හා භෝග මඟින්  භූමි අලංකරණය, කාබනික ගෙවතු වගා ප්‍රචලිත කිරීම මඟින් වස විසෙන් තොර අහාර සඳහා යොමු කිරීම තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම, අතිරික්ත වගා ඵලදාව අලෙවිය තුළින් ජනතාවගේ ආදායම් උත්පාදන මාර්ග වැඩි කිරීම හා කෘෂි අපනයන ප්‍රවර්ධනය, පරිසර හිතකාමි ජීවන රටාවකට ජනතාව හුරු කිරිම හා තිරසර ගෘහ ආර්ථික සංකල්පය ප්‍රවර්ධනය කිරිම ද අරමුණු කෙරේ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...