Thursday, September 14, 2023

මාතර දිස්ත්‍රික්කයේ වගා කළ හැකි සෑම බිම් අඟලකම කුමන හෝ භෝගයක් වගා කළ යුතුයි - මාතර දිස්ත්‍රික් ලේකම් -

 

මාතර දිස්ත්‍රික්කයේ වගා කළ හැකි සෑම බිම් අඟලකම ආහාර භෝගයක් හෝ ආර්ථික භෝගයක් වගා කළ යුතු බව මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවති මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ වී වගා කළ හැකි සෑම කුඹුරු ඉඩමක ම පුරන් වීමට ඉඩ නොදී වී වගා කළ යුතු බවත් අනෙකුත් ඉඩම් ද කැලෑ වීමට ඉඩ නොදී කුමන හෝ ආර්ථික භෝගයක් වගා කිරීමෙන් දිස්ත්‍රික්කයක් වශයෙන් පමණක් නොව රටක් වශයෙන් ද ආහාර සුරක්ෂිතතාව අතින් අපට ඉදිරියට යාහැකි බවයි.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 ම නියෝජනය වන පරිදි මහා වාරි, සුළු වාරි හා අහස් දිය යන වාරි ක්‍රම යටතේ වී වගා කරන ලද කුඹුරු වලට, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වී ඇති වගා හානි කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සඳහා වන්දි ලබාදීම පිළිබඳව ද විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.

“සරුසාර මාතොට“ වගා සංග්‍රාමය, ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සඳහා වන මාතර දිස්ත්‍රික් එකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳව, FOOD GATE APP” සඳහා දත්ත ඇතුළත් කිරීම පිළිබඳව, “අලුත් ගමක් - අලුත් රටක්“ වැඩසටහන පිළිබඳව, ගෘහ ආශ්‍රිතව එළුවන් ඇති කිරීමේ වැඩසටහන පිළිබඳව, පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂි කර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේදීර මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු කෘෂි කර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...