Wednesday, January 8, 2020

සියදිවි නසාගැනීම් වැලැක්වීම පිළිබඳව සමථ මණ්ඩල සාමාජිකයින් හා මාතර රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ


සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් සුගියදා දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී සියදිවි නසා ගැනීම වැළැක්වීම හා අවම කිරීම සඳහා උපදේශනය සිදු කළ යුතු ආකාරය පිළිබඳව කථිකාචාර්ය එස්.එම්.එස්.නිරෝෂණී මහත්මිය විසින් ද, සියදිවි නසා ගැනීමට උත්සාහ කරන තැනැත්තන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා උපදේශනය සිදු කළ යුතු ආකාරය පිළිබඳව කිරින්ද - පුහුල්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ.බී.අබේගුණවර්ධන මහතා විසින් ද දැනුවත් කිරීම සිදු කරන ලදි.

යුද්ධයෙන් මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් සියදිවි හානි කර ගැනීම් තුළින් මිය ගිය බව මෑත ඉතිහාසයේ අපට අසන්නට ලැබුණු පුවතකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), සිය දිවි හානි කර ගැණීම වැලක්වීමේ ජාත්‍යන්තර සංවිධානය (INSP) සහ ලෝක මානසික සෞඛ්‍ය සම්මෙලනය (WFMH) යන ආයතන එක්ව 2003 වසරේ සිට සැප්තැම්බර් 10 දිනය ලෝක සියදිවි හානිකර ගැනීම් වැළැක්වීමේ දිනය වශයෙන් නම් කිරීමට කටයුතු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තවලට අනුව ලෝකයේ සෑම තත්පර 40 කට වරක්ම පුද්ගලයෙකු සියදිවි හානි කරගන්නා අතර, සෑම වසරකම ලක්ෂ අටකට ආසන්න පිරිසක් මිය යති.

90 දශකයේ මුල් භාගය වන විට සිය දිවි හානිකර ගැනීම් සංඛාව ඉහළ ගිය අතර 1995 දී ලෝකයේ රටවල් අතරින් වැඩිම පිරිසක් සියදිවි හානි කරගන්නා රට බවට ශ්‍රී ලංකාව පත් විය.

වර්තමානය වන විටත් මෙම ජීවිත හානිකර ගැනීම අප සමාජයේ සැලකිය යුතු ප්‍රශ්නයක් බව බොහෝ දෙනා පිළිගන්නා දෙයකි. පර්යේෂණ සහ වෛද්‍ය විද්‍යාත්මක හැදෑරීම් තුළින් අද වන විට යම් පුද්ගලයෙකුට සියදිවි හානිකර ගැනීමේ සිතුවිල්ල ඇති වීමට හේතු වන කරුණු කාරණා කීපයක් අනාවරණය කරගෙන තිබේ.

ඒ අතරින් නොයෙකුත් මානසික රෝගී තත්වයන්, උදාහරණ ලෙස විශාදය (Depression), හීන්නෝන්මාදය, මත්පැන් සහ අනෙකුත් මත් ද්‍රව්‍ය භාවිතය, දීර්ඝකාලීන රෝගී තත්වයන්, අපචාරයන්ට ගොදුරු වීම වැනි කරුණු ප්‍රධාන වේ. මීට අමතරව පෙර අවස්ථාවක සිය දිවි හානිකර ගැනීමට උත්සාහ ගත් තැනැත්තෙකු නැවත එය සිදු කර ගැනීමට වැඩි ඉඩක් ඇති බව සොයාගෙන ඇත.

* මම මේ සමාජයට, පවුලට බරක්.........
* මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට මට වෙන කිසිදු විකල්පයක් නෑ.........
* මම ඉන්නේ වෙන කිසිවකුටත් උදව් කිරීමට හැකි තත්ත්වයක නොවේ........
* අන් අයගේ වැරදි වලට මට මගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නයි සිදුවෙලා තියෙන්නේ........
* මම ජීවිතයෙන් හෙම්බත්, සදාකාලිකවම මගේ ජීවිතයම දුකක්.......

වැනි සිතුවිලි ඇති අයෙක් සියදිවි නසා ගැනීමේ අවදානමක් සහිත පුද්ගලයෙකු විය හැකි අතර, මෙවැනි පුද්ගලයන් හඳුනා ගැනීම ශ්‍රී ලාංකිකයන් වන අපට ගැටලුකාරී වන්නේ අප එවන් දේ කථා කිරීමට දක්වන මැලිකම නිසයි.

වර්තමායේ දී ශීඝ්‍රයෙන් පැතිර යන සමාජ ජාලා මාධ්‍යය රටාව තුල විශේෂයෙන්ම තරුණ පරපුර මානසික ආතතිය සහ නොයෙකුත් අනවශ්‍ය ගැටලුවලට මුහුණ දෙමින් සිටින තත්වයක් පැන නැගී තිබේ.

උදාහරණයක් ලෙස, විවිධ සමාජ ජාලා වෙබ් අඩවි හරහා තමන්ගේ වීඩියෝ වැනි පෞද්ගලිකත්වයට හානි වන දෑ සමාජගත වීමෙන් මුහුණ දීමට සිදුවන අපකීර්තිය හමුවේ ඇති වන මානසික පීඩනය ඇතැම් සියදිවි නසාගැනීම් වලට හේතු වී තිබෙනු දැකිය හැකි ය.

වර්තමානයේ වාර්තාවන සිය දිවි හානිකර ගැනීම් අතර හදිසි ආවේගය සහ කෝපය , දුක දරා ගැනීමට නොහැකි වීම සේම අන් අය බිය වැද්දීමෙ අදහසින් සිතාමතාම තම ජීවිතයට තමන්ම හානි කර ගැනීම දක්නට ලැබේ.

සිය දිවිනසා ගැණීමට උත්සාහ ගෙන ඉන් ගැලවුණු බොහෝ දෙනා පවසන්නේ තමන්ට අවශ්‍ය වේලාවේදී තමන්ගේ දුක බෙදාහදා ගැනීමට, ප්‍රශ්න සාකච්ඡා කිරිමට තමන්ගේම යැයි සිතා සලකන කිසිවෙකු සිටියේ නම් මෙවැනි උත්සාහයක් කිසි විටෙකත් නොගන්නා බවයි.

මාතර සමථ මූල මණ්ඩලයේ සාමාජිකයින්, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට අනුයුක්ත උපදේශන නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් ඇතුළු 100 ට ආසන්න පිරිසක් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගි වී සිටියහ. 

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය උපදේශන නිලධාරී සෝමනාථ ආරච්චි මෙනෙවිය විසින් වැඩසටහන සංවිධානය කරන ලදි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...