Thursday, January 30, 2020

මාතර දිස්ත්‍රික්කයේ ගොවි විශ්‍රාම වැටුප් ලාභීන්ට රුපියල් මිලියන 35 ක්


කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය මගින් 2019 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ ගොවි විශ්‍රාම වැටුප් ලාභීන් 10770 දෙනෙකු සඳහා රුපියල් තුන් කෝටි හැට නව ලක්ෂ අනූපන්දහස් හයසිය අසූ එකක (රු. 35695681.00) මුදලක් ගෙවා ඇති බව කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ මූලස්ථාන සංවර්ධන නිලධාරී එච්.එම්.විතාරණ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැති මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී අදහස් දක්වමිනි.

ගොවි විශ්‍රාම වැටුප් ලැබීම සඳහා සුදුසුකම් ලැබූ 26 දෙනෙකුගේ තොරතුරු ද ඉදිරි කටයුතු සඳහා ප්‍රධාන කාර්යාලයට යොමු කර ඇති බව ද ඒ මහතා සඳහන් කරන ලදි.

1987 දී ආරම්භ කළ ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වූ ගොවීන් ලක්ෂ 10 ට අධික පිරිසක් සිටිති.

පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාව සඳහා මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන්, ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේදීර මහත්මිය ප්‍රමුඛ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...