Wednesday, January 8, 2020

රුපියල් මිලියන 1200 ක් වැයකර ඉදිකරන මාතර නව අධිකරණ සංකීර්ණය කඩිනමින් ජනතා අයිතියට


රුපියල් මිලියන 1200 ක් වැය කරමින් ඉදි කරන මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට පියවර ගන්නා බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාතර කොටවිල ප්‍රදේශයේ ඉදි කරමින් පවතින නව අධිකරණ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වූ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙහි දී ඇමැතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ මාතර අධිකරණ සංකීර්ණයේ රාජකාරී සඳහා සහභාගි වන නීතිඥවරුන්ට අවශ්‍ය කාර්යාල පහසුකම් ලබාදීමට අවශ්‍ය නීතිඥ සංකීර්ණය මාස තුනක් වැනි කාලයක දී නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිසි පරිදි නීතිඥ සංගමය වෙත පවරා දෙන ලෙස ද උපදෙස් ලබා දෙන ලදි.

ඇමැතිවරයා මෙසේ ද පැවසී ය.

රුපියල් බිලියන එකයි දශම දෙකක් වියදම් කර ඉදි කර ඇති මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට පත් කිරීම සිදු කළ යුතුයි. ගොඩනැගිලි ඉදි කර ඇති ආකාරය ඉතා හොඳයි. මේ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමට ඇති බාධා ඉවත් කරගෙන එය විවෘත කළ යුතුව තිබේ. 

විශේෂයෙන්ම නීතිඥවරුන් සඳහා කාර්යාල පහසුකම් නොමැතිකම ගැටලුවක් බවට පත්ව ඇත. ඒ අනුව වහාම නිතීඥරුන් 195 දෙනෙකුට අවශ්‍ය කාර්යාල ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඉඩම ලබා දෙන ලදි. ඔවුන් මාස තුනකදී කාර්යාල සංකීර්ණය ඉදි කර අවසන් කිරීමට එකඟ වී තිබේ. මේ අධිකරණ සංකීර්ණයේ ඉතිරි වැඩ අවසන් කර ජනතා අයිතියට කඩිනමින් පත් කළ යුතුයි. මාතර ජනතාවට අවශ්‍ය අනෙකුත් පහසුකම් මේ ස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර අධිකරණය අවට ජනතාවට උපරිම ආකාරයේ ප්‍රයෝජන ලබා ගත හැකි ආකාරයෙන් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මේ අධිකරණ සංකීර්ණය ඉදි කර තියෙන්නේ ඉතා විශාල මුදලක් වියදම් කරලයි. ඒ නිසා ජනතා මුදල්වල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දිය යුතුයි.

නව බන්ධනාගාරයක් සඳහා අවශ්‍ය අක්කර හයක බිම් ප්‍රමාණයක් ලබා දී තිබේ. 2021 අයවැයෙන් ඒ සඳහා මුදල් කෙරේ. දැන් මෙතන බිලියන එකයි දශම දෙකක් වැය කර තිබේ. බන්ධනාගාරයයි උසාවියයි සියල්ල ඉදි කරන්න අවශ්‍යයි. පියවරින් පියවර ඒ වැඩ කටයුතු ඉටු කර දීමට බලාපොරොත්තු වේ.

මෙයට යාබදව ඇති කුණු කන්ද නිසා මේ ප්‍රදේශයේ දුගඳ හමන තත්ත්වයකට පත් වෙලා තිබේ. උසාවිය විවෘත කළායින් පසුවත් මේ තත්ත්වය එහි කටයුතුවලට බාධාවකි. නමුත් මේ කුණු ප්‍රශ්නය මාතර විතරක් නෙමෙයි බදුල්ලේත් මේ ප්‍රශ්නය තිබේ. මේක මුළු ලංකාවේ ම තිබෙන ප්‍රශ්නයකි. අපේ රජය මගින් ඉදිරියේ දී කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත. විද්‍යාත්මක ලෙස මේ කැළි කසළ ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ජාතික සැලැස්මක් අවශ්‍යයි.

අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, අමාත්‍යංශ ලේකම් ජේ .ජේ රත්නසිරි මහතා සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...