Thursday, January 9, 2020

2020 මුල්ම පොහෝ දිනය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි. අනෙකා ඉවසමු - පිළිවෙතින් පෙළ ගැසෙමු


ශ්‍රී ලංකා වාසී හෙළ බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. 

තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කළේ ද, ප්‍රථම ලංකාගමණය සිදු වූයේ ද, සුමණ සමන් දෙවියන් සෝවාන් බවට පත් වූයේ ද, පූජා වස්තුවක් වශයෙන් කේශ ධාතූන් මිටක් සුමණ සමන් දෙවියන්ට ලබා දුන්නේ ද, බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වූ වේළුවනාරාමය බුදු සසුනට පූජා කළේ ද සීතල දුරුත්තේ අද වැනි දුරුතු පුන් පොහෝ දිනයකදී ය.

බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට ලබාදුන් පළමු ප‍්‍රතිඥාව පරිදි උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ආදීන් ඇතුළු දහසක් රහතන් වහන්සේ පිරිවරා දුරුතු පොහෝදා රජගහ නුවර ආසන්නයෙහි වැල්මී වැලින් ගහන වූ උයනෙක, එක් රුකක් මුල වැඩ සිට සවණක් ගණ බුදු රැසින් දිලිහෙමින් වැඩහුන් සේක. මේ අසිරිය දුටු උයන්පල්ලා බුදුරජාණන් වහන්සේ රජ උයනට වැඩම කොට වදාළ බව දැන්වූයෙන් අපමණ ප්‍රීතියට පත් බිම්බිසා රජතුමා එක් ලක්ෂ විසිදහසක් පමණ සෙනගෙන උයනට පැමිණ බුදුන් දැක පසපිහිටුවා වැඳ එකත්පස්ව හුන්හ. එහි රැස්වූවන් අතර සමහරු බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපයන් වෙත වෙසෙන සේක් ද, තවත් සමහරු උරුවෙල් කාශ්‍යපයන් බුදුන් වහන්සේ වෙත වෙසෙන්නේ ද යන සැකයෙන් යුතුව සිත සිතා සිටියහ. එකල්හි අප මහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යප අමතා තොපගේ පර්ෂදයෙහි සැක හරින්නැයි වදාළ සේක. එවිට උරුවෙල් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන අහස් කුස නැගී සත් වරක්ම පෙළහර දක්වා තමන් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙකු වූ බව රැස්ව සිටි පිරිසට දන්වා සිටියහ. එකල්හි මහමෙරක් සේ උස් වූ බුදු ගුණ ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා නාරද කාශ්‍යප ජාතක දේශනාව හා චතුරාර්ය සත්‍ය දේශනාව අසා බිම්බිසාර රජු ප‍්‍රමුඛ පිරිස සෝවාන් වූහ. මෙසේ සෝවාන් වු බිම්සර රජු ප‍්‍රමුඛ පිරිස ලෝකෝත්තර සරණ සීලයේ පිහිටියේ ද අද වැනි දුරුතු පෝය දිනකදි ය.

මීට වසර 2600 ට පෙර බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන් ද කැලණි ගඟ ආශ්‍රිතව නාග ගෝත්‍රිකයන් ද කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන් ද වාසය කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. එසමයෙහි මහියංගණයේ වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් මිනිබේ (අද මිනිපේ) ජනපදයේ මහානාග නම් වූ උයනට රැස්ව දෙපිරිසකට බෙදී මහා සටනකට සැරසුණු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එය නුවණින් දැක සිදුවන්නට යන මහා ජීවිත විනාශය වළකනු වස් ඍද්ධියෙන් ඒ ස්ථානයට වැඩම කළ සේක. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ දඹදිව උරුවෙල්දනව්වේ ය. එදා බුද්ධත්වයෙන් නව වන මස එළැඹි දුරුතු පසළොස්වක පෝය උදා වී තිබිණි.

අහසෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පත්කඩය එළා බිම වාඩිවීමට යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් අවසර ඉල්ලී ය. ඔවුන්ගේ අවසරය මත පත්කඩය එළා වාඩි වී ඍද්ධි ප්‍රාතිහාර්ය පෑ සේක. බියට පත් එම යුද්ධාභිමුඛ මහ දෙපිරිස ඈතට පලා ගිය හ. යුද්ධය නවතා සන්සුන් වූ පිරිසට බුදු හිමියෝ දහම් දෙසූහ. අද අපට දක්නට ලැබෙන මහියංගණ මහ සෑය පිහිටුවා ඇත්තේ එම ස්ථානයේ යැයි එදා සිට ප්‍රචලිත ය. මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණයට සුමණ සමන් දිව්‍ය රාජයා ප්‍රධාන දිව්‍ය සමූහයා ද රැස්ව සිටියහ. දහම් අසා සෝවාන් ඵලයට සපැමිණි සුමණ සමන් දිව්‍ය රාජයා වැඳුම් පිදුම් කරන්නට බුදු හිමියන්ගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේ බුදු හිමියෝ හිස පිරි මැද කේශ ධාතු මිටක් සුමණ සමන් දිව්‍ය රාජයන්ගේ අත තැබූහ. ඔහු එය රන් කරඬුවක බහා එතැන සත් රියන් උස ඉඳුනිල් මිණි වෙහෙරක් ඉදි කළ බව පැවැසේ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ඉදි කළ ප්‍රථම ස්තූපය වන්නේ මහියංගණ මහා සෑයයි. අද එය පඨමක චෛත්‍යය, මියුගුණ සෑය, මහියංගණ මහා සෑය යන නම් වලින් හඳුන්වනු ලැබේ.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මහියංගණ මහා සෑයේ බුදු රජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුව තැන්පත් කර සත් රියන් උස සෑ රදුන් දොළොස් රියන් සෑයක් වශයෙන් ඉදිකර ඇත. එම විස්තරය මෙසේ ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පැවැති ආදාහනෝත්සවයේ දී බුදු සිරුර දැවෙමින් තිබිය දී සැරියුත් මහ තෙරුන්ගේ ශිෂ්‍යයෙකු වූ සරභු මහ තෙරුන් වහන්සේ ලබාගත් ග්‍රීවා ධාතුව (ගෙල පෙදෙසින්) මහියංගණ සෑයේ නිදන් කළ බව ය. ඒ අනුව මහියංගණ සෑයේ කේශ ධාතු හා ග්‍රීවා ධාතූන් වහන්සේ යන දෙනම ම වැඩ සිටීම සුවිශේෂී කරුණක් වශයෙන් සැලකිය හැකි ය. ඒ වන විට මෙම සෑය දොළොස් රියන් උස මේඝ වර්ණයෙන් ඉදි කළ බව සඳහන් ය.
මියු ගුණ සෑ රදුන් පිළිබඳව නැවත සටහන් හමුවන්නේ දෙවන පෑ තිස් රජුගේ සමයේ ය. එනම් ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී පමණ මෙම සෑය තිස් රියන් උසට ඉදිකරන ලදී. ඒ දෙවන පෑතිස් නිරිඳුන්ගේ මලණුවන් වූ චූලාභය කුමරුන් විසිනි. අනතුරුව දුටුගැමුණු මහ රජතුමා අසූ රියන් උසට මෙම සෑය ඉදි කළේ ය. එසමයෙහි එළාර නම් ද්‍රවිඩ රජතුමාගේ යුද බලකොටුවක් මෙහි විය. දුටුගැමුණු රජු එය වනසා දමා මෙම පෙදෙස සිය බලයට නතු කැර ගත්තේ ය. දමිළ බලය පරදා ලද මෙම ජයග්‍රහණය ගැමුණු රජුගේ යුද සටන්වල මූලාරම්භය ද වේ. මෙලෙසට සෑ රජුට ගෞරවය පුද කළේ එම ජයග්‍රහණය නිමිති කරගෙන ය.

තවත් වැදගත් ඓතිහාසික කරුණකට මෙම පෙදෙස මූලාශ්‍රය වෙයි. එනම්, සිරිසඟ බෝ කුමරු නන්ද තෙරුන් යටතේ හැදී වැඩුණේ ද මෙම පින් බිමේ ය. තවද මානවම්ම කුමරු, දෙවැනි සේන, හතරවැනි කාශ්‍යප යන නම් දරන රජවරු මෙම පූජා භූමියේ දියුණුවට කටයුතු කළහ. පොළොන්නරු රාජ්‍ය සමයේ දී පළමුවැනි විජයබාහු රජතුමා මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. කෝට්ටේ යුගයේ දී හය වන පැරකුම්බා රජු මෙම දාගැබ යළි ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් ය. මහනුවර යුගය වන විට වීර වික්‍රම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, විජය රාජසිංහ , කීර්ති ශ්‍රී රාජසිංහ යන නරපතියන් මෙම දාගැබ විවිධ පුද පූජාවන්ට හා දියුණුවට බඳුන් කළහ.

විදේශීය ආක්‍රමණ අබියස මෙම පින්බිම විටින් විට වන ගත විය. එහෙත් සෑ රජුගේ වර්තමාන පුනර්ජීවයට අඩිතාලම වැටුණේ 1953 වර්ෂයේ දීය. එම වර්ෂයේදී එහි ප්‍රතිසංස්කරණයට මුල්ගල තැබිණි. නැවත 1955 වර්ෂයේ දී ධාතු නිදානෝත්සවය, 1956 හතරැස් කොටුවේ ධාතු නිදානෝත්සවය, 1961 දී කොත් කැරැල්ල මුදුණේ චූඩා මාණික්‍ය පැළැඳවීම ආදි පිළිසකර කටයුතු සිදුවීමත් සමඟ ම ඉතා වටිනා ඓතිහාසික පුද බිමක සිරියෙන් වැජඹෙන්නට වූහ.

ශාසනික හා ඵෙතිහාසික වශයෙන් ඉතා වැදගත් කරුණු කාරණා රාශියක් නිසාම ව්‍යවහාර වර්ෂයෙන් පළමු පුර පසළොස්වක පෝය දිනය වශයෙන් ගැනෙන දුරුතු පුර පසළොස්වක පෝය දිනය ලක්දිව බෞද්ධයනට ඉතා වැදගත් පොහෝ දිනයකි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...