Friday, January 17, 2020

දෙණිපිටිය නුගරුක අසළ ගජමන් නෝනාගේ පිළිරුවක් ඉදිකිරීමට පියවර


ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියටපත් අතළොස්සක් වූ කිවිඳියන් අතර ප්‍රමුඛ කිවිඳියක් වන මාතර සාහිත්‍ය යුගය සුපෝෂණය කළ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා හෙවත් ගජමන් නෝනා කිවිඳියගේ පිළිරුවක් දෙණිපිටිය නුගරුක අස සංස්කෘතික මධ්‍යස්ථානයට යාබදව ඉදිකිරීමට වැලිගම ප්‍රාදේශීය සභාව පියවර ගනී. ඒ සඳහා මුල් ගල් තැබීම පසුගියදා සිදු කරන ලදි.

දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා යනු හිටි වන කවි කීම සහ ලිවීම සම්බන්ධයෙන් පැවැති දක්ෂතාව හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික කිවිඳියකි. ඇය මාතර සාහිත්‍ය යුගය නියෝජනය කරන අතර රුහුණේ කිවිඳිය වශයෙන් සැලකේ.

ගජමන් නෝනා එකල දිවයිනේ සිටි උගත් භික්ෂුවක් වූ වේරගම්පිට විහාරයේ විසූ කරතොට ධර්මාරාම නාහිමියන්ගෙන් කාව්‍ය ශාස්‌ත්‍රය හැදෑරූවා ය. ගජමන් නෝනා විසින් ලියූ ප්‍රසිද්ධ පැදි පෙළ අතර පහත ඒවාද වේ. මෙම පැදි පෙළ වලට අමතරව ඇය සහ ඇලපාත මුදලි අතර ඇති වූ සංවාද කවි ද අදටත් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියව පවතී.
 
දැඩිතර ශෝක මාලය, දෙණිපිටියේ නුග රුක වැනුම, පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය, සෙව් වික‍්‍රම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි, සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වරුණ, තිලකරත්න දිසානායක ළමාතැනී කළ පින්කම් වැණුම, තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සන්දේශය සහ මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යැවූ පෙත්සම ඇයගේ කාව්‍ය නිර්මාණ අතර ප්‍රකට ය.

ගජමන් නෝනාගේ කවීත්වයට ගරු කිරීමක්‌ ලෙස මාතර දිසාපති ධුරය දැරූ ශ්‍රීමත් ජෝන් ඩොයිලි විසින් අම්බලන්තොටින් ඇයට ගම්වරයක්‌ ලබා දෙන ලදී. එම ගම "නෝනාගම" නමින් අද ද ප්‍රකටය. ගජමන් නෝනා සිහිකිරීම උදෙසා අම්බලන්තොට නෝනාගම හන්දියේ ඇයගේ පිළිරුවක්‌ ඉදිකර ඇත. 

සිය ජීවිතයේ අවසාන කාලය හුදෙකලාව ගත කළ ඇය 1814 දෙසැම්බර් මස 15 වැනි දින අභාවප්‍රාප්ත වූවා ය.
 
දෙණිපිටියේ නුග රුක වැනුම

පිනවන දුටු දන සෑ        
ගඟ ලඟ පිහිටි කදී        
තුරුපෙල අවට සැදී      
යුත් සෙවනැල්

ගන මේ කැලෙව් දිලී    
විහඟුන් මත රැව්දී         
සුළඟින් පත් ලෙදී      
ඇති හැමකල්

යන එන දන සැමගේ    
එහි ඉඳ නිවී සැනසී       
දස දිග අතු විහිදී           
තිබෙන විසල්

දෙනිපිටියට ඉතා          
වටිනා මහ නුග දු          
බලයකි එහි සිත් පේ     
නිලඹර දුල්

සැමවර දන මන නන්   
පලබර පුලුපු උයන්       
තෙක වතු කුඹුරුවලින්  
සැදි දෙපසේ

පෙම කරවන නිතියෙන්
සල්පිල් සහ ගෙවලින්   
එහි සරණා මැතියෙන්   
සැණ කෙලි සේ

කවියර බඩු සිතියන්      
දැනගත් සිපි ඇදුරන්     
සැදි දෙනිපිටිය නමින්   
යුත් පියසේ

නුගතුර තුනු රුසිරෙන්  
පලකර සක් දෙවියන්    
පරසතු රුක විලසින්     
නිබඳ දිසේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ, බුද්ධ සාසන හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර, දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් වර්නන් පෙරේරා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් ගමගේ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...