Monday, May 23, 2022

මාතර - ගෑස් බෙදා හැරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කෙරේ

මාතර දිස්ත්රික්කයේ ජනතාවට ගෑස් බෙදා හැරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අද (23) දින මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි

ඒ අනුව ගෑස් ලබා ගැනීමට අවශ්‍ය සියලු දෙනා ලියාපදිංචිකර මාතර දිස්ත්‍රික්කයට ලැබෙන ගෑස් තොග අනුව ඉතා ආසන්න දිනක දී ඔවුන්ට අවශ්‍ය ගෑස් ලබාදීමට කටයුතු සම්පාදනය කිරීමට තීරණය කළ අතර එම වැඩපිළිවෙල හෙට (24) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය. මාතර දිස්ත්‍රික් ලේකම් තුමාගේ ඍජු මැදිහත්වීම යටතේ මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මියගේ මෙහෙයවීමන් මෙය ක්‍රියාවට නැංවේ. මේ සඳහා පොලිසියේ සහාය ද ලබා ගැනේ.

මෙහි දී මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතා මෙසේ පැවසී ය.

දින ගණනාවක් තිස්සෙ ම ජනතාවගෙන්, විවිධ ආයතන වලින් අපිට පැමිණිලි ලැබුණා, ගෑස් බෙදා හැරීම අක්‍රමවත්, අවශ්‍ය අයට ලැබෙන් නෑ වගේ ආකල්ප ඒ් අතර තිබුණා. ඇත්තට ම මේ වගේ තත්ත්වයක් සිද්ධ වෙනවාද? මොකක්ද කරන්න ඔ්න කියලා අපි ටික කාලයක් නිරීක්ෂණයෙන් හිටියා. ඒ අනුව තමයි අපි තීරණය කළේ ගෑස් බෙදා හැරීම සම්බන්ධයෙන් යම්කිසි කටයුත්තක් කරන්න. දැන් අපි උත්සාහ කරන්නෙ ලැබෙන ගෑස් ප්‍රමාණය ඉතාමත් විනිවිද භාවයෙන් විධිමත්ව ජනතාවට ලබාදෙන්න.

මාතර ප්‍රාදේශිය ලේකම් තුමියගේ සම්බන්ධීකරණයෙන් අපි හෙට (24) දවසෙ ඉඳලා ගෑස් බෙදාහැරීම සඳහා මැදිහත් වෙනවා. පෝලිම් වලට එන ජනතාව දිගින් දිගටම පෝලිම්වල දිවා රාත්‍රී රඳවා තැබීමේ අවශ්‍යතාවක් නෑ. ගෑස් මිල දී ගැනීමට එන පුද්ගලයාගේ ගෑස් සිලින්ඩරය භාරගෙන අදාළ පුද්ගලයාට ඊළඟ දවසෙ හෝ එන ගෑස් ප්‍රමාණයෙන් ගෑස් එක ලබා දෙනවා. නියමිත දිනයේ ආවට පස්සෙ ගෑස් සිලින්ඩරයට සල්ලි ගෙවලා අරගෙන යන්න පුළුවන්. අපි උත්සාහ කරනවා ගෑස් ලබාගන්න පුද්ගලයාට වට්ස්ඇප් හෝ මැසේජ් එකක් මාර්ගයෙන් දැනුවත් කිරීමක් කරන්න.

උදාහරණයක් විධියට අද ගෑස් ලබා ගන්න පුද්ගලයෙක් ඇවිල්ලා, ගෑස් ලබා ගන්න බැරි වුණොත් ඒ අය ියාපදිංචිකර ගැනීමක් අනිවාර්යයෙන් කරනවා. මාතර ප්‍රාදේශිය ලේකම් තුමිය ඒකට අවශ්‍ය කටයුතු සංවිධානය කරනවා. හෙට උදේ ඉඳලා අනිවාර්යයෙන් කටයුතු කරන්නෙ මේ ආකාරයට.

අපි තේරුම් ගන්න ඔන සම්පූර්ණ ගෑස් අවශ්‍යතාව තවම අපිට ලැබෙන්නෑ. ලැබෙන ප්‍රමාණය හැම කෙනෙකුටම විධිමත්ව ලැබෙන ආකාරයට කටයුතු කිරීමට තමයි, අපි උත්සාහ කරන්නෙ. ඒ නිසා හැකි ඉක්මණින් ඒ සියල්ලම ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මං හිතන්නෙ ගෑස් බෙදීම අපිට පුළුවන් වෙයි, ඉතාමත් හොඳින් ඉස්සරහට කරගෙන යන්න. මොනවා හරි ගැටළුවක් වුණොත් කාටහරි ප්‍රශ්නයක් වුණොත් අපට හෝ එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමා හෝ ප්‍රාදේශිය ලේකම් තුමියත් එක්ක ඍජුව සම්බන්ධ වෙලා විධිමත්කර ගන්න පුළුවන්. තව කාරණයක් මතක තියාගන්න ඔන. අපිට දැන් දවසකට ගෑස් සිලින්ඩර් 1068 ක් ලැබෙන්නෙ. ලැබෙන ගෑස් ප්‍රමාණයෙන් 10% ක් අත්‍යවශ්‍ය සේවා සඳහා තියාගන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන් රෝහල් සහ වෙනත් අත්‍යවශ්‍ය තැන්වල ප්‍රයෝජනය සඳහා. සියලු ම ගෑස් විනිවිදව විධිමත්ව පුද්ගලයන් වෙත බෙදාහරින්න අවශ්‍ය කටයුතු කරනවා. කිසි කෙනෙක් පොලිම්වල තියලා රෑ තිස්සෙ එතෙන්ට වෙලා ඉන්න අවශ්‍යතාවයක් නෑ.

ඒ නිසා මින් ඉදිරියට දයසක් හෝ දෙකක් ඇතුළත අනිවාර්යයෙන් ම අදාළ පුද්ගලයාට අවශ්‍ය ගෑස් එක ලැබේවි. ඒ වගේම ප්‍රාදේශියව අනෙක් මධ්‍යස්ථාන වලටත් විධිමත් පරිදි ගෑස් ලබා දීමටත් ඒ තැන් වලත් ප්‍රාදේශිය ලේකම්වරු හරහා සම්බන්ධ කරලා ඒ සියල්ල කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මිය, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා, මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, පාරිභෝගික සේවා අධිකාරිය, මාතර ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...