Friday, May 13, 2022

මාතර දිස්ත්‍රික්කයේ නීතිය හා සාමය ආරක්ෂාකර ගැනීමට සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නිසි වැඩපිළිවෙලක් සැකසේ

 

මාතර දිස්ත්රික්කය තුළ නීතිය හා සාමය ආරක්ෂාකර ගැනීමට සහ සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නිසි වැඩපිළිවෙලක් සැකසීම සඳහා වූ හමුවක් මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

රටේ උද්ගත වී ඇති තත්ත්වය අනුව සියලු දෙනා දරාගෙන කටයුතු කළ යුතු බවත් පසුගිය දිනවල පැවති ප්රචණ්ඩකාරී වාතාවරණය මේ වන විට සමනය වී ඇති හෙයින් සාමාන්‍ය ජනජීවිතය බාධාවකින් තොරව පවාත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවත් මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතා මෙහි දී අවධාරණය කරන ලදි.

එපමණක් නොව මාතර දිස්ත්‍රික්කය තුළ බරපතල සිදුවීම් වාර්තා නොවීමට වගබලාගත් පොලිසියට හා යුද හමුදාවට ස්තුතිය පළකිරීමට ද දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කරන ලදි.

සාමාන්‍ය ජනජීවිතය නිසි පරිදි පවත්වාගෙන යා‌මේ දී මාතර දිස්ත්රික්කයේ රෝහල් පද්ධතියට අවශ්‍ය පහසුකම් සැපයීම, ජනතාවට අවශ්‍ය ගෑස් සැපයීම, ඉන්ධන බෙදා හැරීම, විදුලිය ලබා දීම, පිරිසිදු පානීය ජලය සැපයිම, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ආදී කටයුතු සම්බන්ධව මතුවී ඇති ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා පියවර ගැනීමට තීරණය කෙරිණි.

මාතර දිස්ත්රික්කයේ ආරක්ෂක තත්ත්වය මේ වන විට සතුටුදායක මට්ටමක පවතින බවත් අවශ්‍ය විටෙක නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලු පොලිස් ස්ථාන හා ආරක්ෂක හමුදාව කටයුතු කරන බවත් ආරක්ෂක අංශ පෙන්වා දෙන ලදි.

මේ දිනවල දිවයිනට බලපා ඇති නිරීත දිග මෝසම් වැසි මාතර දිස්ත්‍රික්කයට ද බලපෑම් කරමින් පවතින බැවින් ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ද සූදානම් වියයුතු බව ද අවධාරණය කෙරිණි.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, සෞඛ්‍ය අංශ, පොලිසිය හා යුද හමුදාව, විදුලිබල මණ්ඩලය, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, වාරිමාර්ග අංශ, කෘෂිකර්ම අංශ, ආපදා කළමනාකරණ අංශය, ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගම, මාතර වෙළඳ හා වානිජ්‍ය මණ්ඩලය, මාතර වෙළඳ සංගමය ඇතුළු අංශ ගණනාවක නිලධාරීන් සහභාගි වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...