ඉදිරියේ දී රට තුළ ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසඳුමක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සෑම බිම් අඟලක් තුළ ම කුමන හෝ භෝග වර්ගයක් වගා කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ මැදිහත්වීමෙන් වඩපිළිවෙලක් සකස්කර තිබේ. ඒ සඳහා සියලු පාර්ශ්ව දැනුවත්කර ඔවුගේ සහාය ලබා ගැනීමට නියමිත ය.
ඊට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන දැනුවත්කර මේ වෙනුවෙන් ඔවුගේ දායකත්වය ලබා ගැනීම සඳහා වූ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී දිසාපතිවරයා මෙසේ පැවසී ය.
හෙට දවසෙ මොනව වෙයිද කියන එක පිළිබඳව අපිට හැඟීමක් නැති වෙමින් පවතිනවා. ඒ නිසා මේ වෙලාවෙ අපිට යම් යම් ක්‍රියාමාර්ග වලට එන්න සිද්ධ වෙනවා. මේවා පිළිබඳව දිගින් දිගට විවේචනය කර කර ඉන්න අපිටත් පහසුයි. ඔබටත් පහසුයි. නිලධාරීන්ටත් පහසුයි. ජනතාවටත් පහසුයි. උද්ඝෝෂණ කරන්නත් ලේසියි. ගිහිල්ල කොහේ හරි කෑගහන එක. එහෙම නැත්නම් මේක විවේචනය කරන්න හරි ලේසියි. සමාජ මාධ්‍ය වලට දාන්න පුළුවන්. දිනපතා මාධ්‍යවල උදේටයි හවසටයි හැන්දෑවටයි රෑටයි හැම වෙලාවකම තෙල් පෝළිමයි ගෑස් පෝළිමයි ස්ට්‍රයික් කරපු ඒ්වයි ඔව පෙන්නන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම කරල රටට මොනවද ලැබෙන්නෙ. ඔබ දන්නවා. රටට මොකුත් ලැබෙන්නෑ. තවත් නාස්තියක් සහ විනාශයක් විතරමයි ලැබෙන්නෙ. එහෙමනම් දැන් අපිට සිද්ධ වෙනවා මීට එහාට ගිහිල්ලා අද දවසෙ යම් කටයුත්තක් කරන්න. අපිට මේක කවුරුත් කියනකම් ඉන්න බෑ. කවුරුත් කියන නිසා කරන්න ඔනෙත් නෑ. හැබැයි අපි මේ අවශ්‍යතාවය හඳුනා ගැනීමේ ඔන කමක් තියනවා.
අපිට මහා ලොකුවට තවම නොදැනුනත් බඩගින්න කියන එක වෙනදට වැඩිය ඉස්මතු වෙමින් පවතිනවා. තව මාස තුනක් යනකොට අපිට අවශ්‍ය වුණත් අපිට මුදල් තිබුණත් අපිට ගන්න ආහාර හිඟයකට පත්වෙනවා.මේක යථාර්ථයක්. මේක මහ පොළොවෙ යථාර්ථයක් වෙනවා. අද වෙනකොටත් සමහර පවුල් දවසට එක වේලක් කන තත්ත්වෙට පත් වුණා නම් ඔබ අප ඇතුළු සියලු දෙනා ම වෙනදා ගත්ත ආහාර වේලෙන් භාගෙකින් සෑහීමකට පත්වෙන්න අපි කවුරුත් පෙළඹුනා නම් මේ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ නිසා අපිට කරන්න තියෙන කාර්යයන් වලින් එකක් තමයි, මේක කෘෂි කාර්මික රටක්, අපේ දිස්ත්‍රික්කෙත් කෘෂි කාර්මික දිස්ත්‍රික්කයක්, මේ කෘෂි කර්මය මත තමයි අපි බොහෝ කාලයක් සම්බන්ධ වුණේ. ඒ නිසා අපිට මේ කෘෂි කාර්මික ක්ෂේත්රයේ යම් කිසි කෙටි කාලීන නිෂ්පාදන සඳහා යොමු වීමේ දැඩි වුවමනාවක් තියෙනවා.
ඒ නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විධියට අපි වැඩසටහන් කිහිපයක් පටන් ගත්තා. මේ කන්නයේ අපේ කුඹුරු ප්‍රමාණයෙන් වගා කරල තියෙන්නෙ 50% ක්. 50% ත් අස්වැන්න ගැන ඔබට අවබෝධයක් තියනවා රටේ ඇති වෙච්ච තත්ත්වයත් එක්ක. අනික වෙනදා අපි ආනයනය කරන්න තිබුණා මොනව හරි ක්‍රමයකින්. මුළු ලෝකෙම අර්බුදකාරී වාතාවරණයක ඉන්නෙ එක පැත්තකින්. අනික් පැත්තෙන් එහෙම නැතිවුණත් අපිට ගෙන්න ගන්න අපේ රටේ තියන විදේශ විනිමය සංචිතවල ප්‍රමාණය පිළිබඳව මං හිතන්නෙ මේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ට හොඳ අවබෝධයක් තියනවා. මෙන්න මේ පසුබිම තුළ ඉඳගෙන අපි එකක් සංවිධානය කළා.
අපි මුලින්ම ගොවීන්ට කතා කරන්න ගියේ නෑ. ඉස්සෙල්ලම අපි කළේ අපේ රාජ්‍ය නිලධාරීන්ට අපි කතා කළා. අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 600 ක විතර රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. අපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 16 ඉන්නවා තවත් 6000 ක් විතර එතකොට 6600 ක් විතර රාජ්‍ය සේවකයො ඉන්නවා. මේ රාජ්‍ය සේවකයො හැම කෙනෙකුටම අපි පණිවිඩයක් දුන්නා. ඔබේ තියෙන නිවසෙ ඉඩකඩ තියන ආකාරයට ඉඩකඩ නැත්නම් අඩුගානෙ මල් පෝච්චියකවත් වෙනදා මල් වැවූ ඔබ දැන් වවන්න එළවලු පැළයක්. මිරිස් පැළයක්. බණ්ඩක්ක ගහක්. වම්බටු ගහක්. ඉඩ තිනයවනම් මඤ්ඤොක්කා ටිකක් අල බතල ටිකක් ඉන්දන්න. අපේ නිලධාරීන්ට අපි කිව්වම අපි හිතුවෙ ධනාත්මකව ගන්නෙකන් නෑ කියල හිතුවෙ. නමුත් අපේ නිලධාරීන්ට මේක අවබෝධ වෙලා තියනවා. අපේ නිලධාරීන් මේ වැඩේ පටන් ගත්තා. ඊළඟට අපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල අපේ නිලධාරීන් හතර දෙනෙක් ඉන්නවා ගමත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්. මීට අමතරව ඉන්නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, ප්‍රජා පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ අය ඉන්නවා. මේ අය අඩුම වශයෙන් ගම්මානයක ගෙවතු 25 ක් ගෙවතු වගාවට සීමා කරන්නැතුව ඊටත් එහාට ගිහිල්ලා වැඩපිළිවෙලක් හදන්න කියලා අපි ආරාධනය කළා. දැන් ඒක පටන් ගනිමින් පවතිනවා.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය යටලමත්තේ විපස්සි නාහිමි, මාතර අතිරේක මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය,
මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සංවිධාන සම්මේලනයේ ලේකම් උපාලි ගුණවර්ධන මහතා, භාණ්ඩාගාරික කොන්රඩ් රණවක මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධානවල හා ස්වේච්ඡා සිවිල් සංවිධානවල නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment