Friday, May 15, 2020

මාතර දිස්ත්‍රික්කයේ අපහසුතාවටපත් ජනතාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලයෙන් වියළි ආහාර


කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවටපත් මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 800 ක් සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය පසුගිය වෙසක් පුන් පොහෝ දින හා ඊට පසු දින කටයුතු සිදු කරන ලදි.


එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් අඩු ආදායම්ලාභී පවුල් 50 බැගින් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 නියෝජනය කරමින් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 800 ක් සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් මෙම වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරිණි.

ආධාර බෙදා දීම සඳහා එක් වූ කණ්ඩායම්වල ප්‍රධානීන් කිහිප දෙනෙක් තම අත්දැකීම් විස්තර කළේ මෙසේ ය.

මාතර දිස්ත්‍රික් ඉංජිනේරු ඩී.කේ.නානායක්කාර මහතා

අපි අධාර බෙදා දෙන්න ගියේ ප්‍රධාන පාරේ සිට කිලෝ මීටර් 10 විතර දුර ගම් ඇතුළට. ඉතාම අපහසුතාවෙන් ජීවත්වෙන කපරාරු නොකරන ලද තනි තට්ටුවේ නිවෙස් වලට, වහළ අබලන් නිවෙස් වලට, අබාධ සහිත පුද්ගලයින් ජීවත්වන නිවෙස් වලට, සහමර නිවෙස් වල වහලට දාල තිබුණේ ටකරන්, ඇතැම් ජනතාව ජීවත් වෙන්නෙ මූලික අවශ්‍යතාවත් නැතිව. එවැනි ජනතාවට තමයි අපි ආධාර ලබා දුන්නෙ.

සමහර නිවෙස්වල වැඩිහිටියන් වෙසක් පෝයට සිල් සමාදන් වෙලා. ඒත් හරියට ආහාරයක්වත් ඔවුන්ට නැහැ. අපි ඔවුන්ට ආධාර ලබා දුන්නා. ඔවුන් අපිට පින් දුන්නා. අපි රෑ හත අට වෙනකම්ම ආධාර බෙදුවා.

ක්‍රමසම්පාදන සහකාර අධ්‍යක්ෂ කල්‍යාණි මුණසිංහආරච්චි මහත්මිය

අපේ කණ්ඩායම ආධාර බෙදන්න ගියේ අකුරැස්ස සහ පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල. අපි එම කොට්ඨාසවල ආර්ථික සංවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ සහයෝගයෙන් ඉතාම අපහසුවෙන් ජීවත්වෙන පවුල් තෝරා ගත්තා. ප්‍රධාන පාරෙන් එපිට ඈත ගම්වල ජීවත්වෙන මෙම ජනතාව සොයාගෙන ඔවුන්ගේ නිවෙස් වලට ම අපි ගියා. විවිධ කායික රෝගාබාධ වලින් පෙළෙන, ඒ වගේ ම මානසික රෝගී තත්ත්වයන් සහිත අය සිටින නිවෙස් වලටත් අපි ගියා. ඔවුන්ට අපි ආධාර බෙදා දුන්නා.

ඇතැම් නිවෙස් වලට වාහනයකින් යන්න හැකියාවක් තිබුණේ නැහැ. ගොඩක් දුර පයින් යන්නත් සිද්ධ වුණා. ඒත් අපේ අපහසුතා වලට වඩා එම ජනතාව ළඟට ගිහින් ආධාරයක් ලබා දෙන්න හැකි වීම ගැන මේ වෙසක් පෝය දවසෙ හිතට ලොකු සැහැල්ලුවක් දැනුණා.

මාතර දිස්ත්‍රික් සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක කේ.වී.ජී.එම්. ද සිල්වා මහතා

දිසාපති තුමාගේ අදහසක් අනුව ක්‍රියාත්මක කරපු, මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ කටයුත්තෙදි මා ඇතුළු කණ්ඩායමට ලැබුණේ කොටපොල හා පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ආධාර බෙදන්න.

ඇතැම් තැන්වල ස්වාභාවික ආපදා නිසා විපතට පත් ජනතාව පදිංචිවෙලා හිටියා. එයින් ඇතැම් නිවාස ලෑලි වලින් සකස් කරන ලද ගෙවල්. ඔවුන් ජීවත් වුණේ ඉතාම අපහසුවෙන් බවයි පෙණුනෙ. අපි ඔවුන් වෙනුවෙන් ආධාර ලබා දුන්නා.

එක කුඩා නිවසක ජීවත් වන වැඩිහිටි යුවලක් හිටියා. ඒ නිවසේ පිරිමි තැනැත්තා කකුළක ආබාධයකින් පෙළෙන කෙනෙක්. ඔහු කොහු හා ඉදල් හදල ඒවා විකුණලා තමයි ජීවත් වෙන්නෙ. ඒත් මේ දවස්වල කිසිම ආදායමක් නැති නිසා ඔවුන් ඉතාම අපහසුතාවෙන් තමයි ජීවත් වෙන්නෙ. ඔවුන්ටත් අපි ගෙනියපු වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් ලබා දුන්නා.
   
මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රයිම් රෝස් රණසිංහ මහත්මිය

අපි ආධාර බෙදන්න ගියේ මාතර හා දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අපහසුතාවටපත් ජනතාව හොයාගෙන. කැකණදුර, දෙවිනුවර වගේ ප්‍රදේශවල ඇතැම් ජනතාව ජීවත් වෙන්නෙ ඉතාම අපහසුතාවෙන්. අපි ගියපු ගොඩක් තැන් තිබුණේ ප්‍රධාන පාරෙන් කිලෝමීටර් කිහිපයක් ගම ඇතු‌ළෙ. ඒ දණ්ඩෙන් ගියපු තැනුත් තිබුණා. කටු මැටි ගෙවල්වල ජීවත්වන අය, වැන්දඹු කාන්තාවන්, ආබාධ සහිත අය ජීවත්වන නිවෙස්, කිසිවක් කරකියාගත නොහැකි ඉතාම අසරණ ජනතාව සොයාගෙන ගොස් අපි ඔවුන්ට වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දුන්නා.

එදා අපි ගියපු එක නිවසක් තිබුණා. වැඩිහිටි අක්කයි නංගියි විතරයි එම නිවසේ ජීවත් වුණේ. ඉතාම අපහසුවෙන් ජීවත් වුවත් ඔවුන් වෙසක් පෝයට සිල් අරගෙන. අපි ඔවුන්ටත් ආධාර ලබා දුන්නා.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී අශෝකා දිානායක මහත්මිය

අතිශය දුෂ්කර ජීවිත ගත කරන දුප්පත් ම ජනතාව සිටින ඈත ගම්මානවලට අපි ගියා. කඳු මුදුන්වල, කඳු බෑවුම්වල වගේම නිවෙස් වලට යාමට හරිහමං පාරක් තොටක් නැති ගෙවල් වලට අපි ගියා. කිලෝමීටර් 4 ක් 5 ක් පයින් ම යන්න සිද්ධ වුණ අවස්ථාත් තිබුණා. පයින් ගමන් කරද්දි සමහර කුඩා අඩිපාරවල්වල සර්පයින් පවා හිටියා. ඇතැම් නිවෙස් ටකරන් හෙවිලි කරපුවා. ඇතැම් නිවෙස් ඉටිකොළ ගහපුවා. ඉතාම දුක්ඛිත ජීවිත ගතකරන පිරිස් හොයාගෙන සෞඛාරක්ෂිතව ඔවුන්‌ගේ නිවෙස් වලට ගොස් ආධාර බෙදා දෙන්න අපි කටයුතු කළා.

සමහර නිවෙස්වල හරියට වහළක්වත් නෑ. නිවස තුළ ජීවත් වීමට සරිලන මූලික පහසුකම්වත් නැති ගෙවල් තිබුණා. අපි බොහෝ විට උත්සාහ කළේ ඉතාම අපහසුතාවෙන් ජීවත්වෙන මාතර දිස්ත්‍රික්කයේ ඈත ගම්මානවල ජනතාව හොයාගෙන ඔවුන්ගේ ළඟටම ගොස් ආධාර ලබා දෙන්න. අපි ඒක කළා.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...