Tuesday, December 11, 2018

මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක 3000 ට අධික සංවර්ධන වැඩසටහන් පිළිබඳව විමසා බැලේ


මාතර දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක 3000 ට අධික සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ගැටළු සාකච්ඡා කෙරෙන විශේෂ සංවර්ධන කමිටු රැස්වීමක් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයෙස්කර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් වන පෝෂණය සඳහා වූ බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම, ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, තිරසර පාසල් වැඩසටහන, ඩෙංගු මර්දන වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, ආබාධ සහිත සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා වූ ජාතික වැඩසටහන ආදියෙහි ප්‍රගතිය විමසා බලන ලදි.


මෙහි දී මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා විමධ්‍යගත වැඩසටහන, දිවිනැගුම ජාතික වැඩසටහන, මාතර - කතරගම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, මාතර - කතරගම අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, නගර සංවර්ධනය, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, කෘෂිකර්ම / ඉඩම් / වාරිමාර්ග / සත්ත්ව පාලන කටයුතු, මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, පළාත් පාලන කටයුතු, ප්‍රවාහන කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් / විදුලි සන්දේශ කටයුතු ආදිය පිළිබඳව සාකච්ඡා කෙරිණි. මීට අමතරව දිස්ත්‍රික් සංවර්ධන කමිටු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ගැටලු සහ යෝජනා, ප්‍රාදේශිය සංවර්ධන කමිටු වලින් ඉදිරිපත් වී ඇති ගැටලු සහ යෝජනා පිළිබඳව ද සාකච්ඡා විය.


මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම විශේෂ සංවර්ධන කමිටු රැස්වීම, අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.11.17 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති පළාත් / දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන  රැස්වීමේ දී ගනු ලැබූ තීරණ වලට අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදුන් උපදෙස් පරිදි පවත්වන ලදි.

මාතර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සී.එම්.සිරිවර්ධන මහතා ප්‍රමුඛ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රමසම්පාදන අංශය රැස්වීම සංවිධානය කරන ලදි.



No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...