Wednesday, May 8, 2019

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමේ දී වෙසක් උත්සවය සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දු තීරණ රැසක්


රටේ ඇතිවී තිබෙන තත්ත්වය‌ හේතුවෙන් මෙවර වෙසක් උත්සවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය මගින් විශේෂ රැස්වීමක් පවත්වන ලදි. මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පරදුව ජිනරතන නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඊයේ (08) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානාත්මකව හා ආරක්ෂාකාරීව කටයුතු කිරීම සඳහා පෙරහැර, දන්සල් හා තොරණ පැවැත්වීම නතර කර බණ දහමට මුල්තැන දී කටයුතු කිරීමට සාමූහික එකඟතාවයකට එළඹිණි.

මීට අමතරව ගම්වැසියන් සියලු දෙනා තමන්ගේ ගමේ පන්සලේ ආරක්ෂාව වෙනුවෙන් වෙනදාට වඩා ප්‍රමුඛතාව ලබාදීම, ගමේ හැමදෙනාම ඒකතු වී සීල භාවනා පුද පූජා කටයුතු වලට සහභාගි වීම, ආරක්ෂාව සඳහා ගමේ තරුණ වැඩිහිටි සියලු දෙනාම අනවශ්‍ය බෑග් හා පාර්සල් නොගෙන මල් පහන් ආදිය පමණක් රැඟෙන පන්සලට පැමිණීම, නන්නාදුනන අය පන්සලට පැමිණීම වැළැක්වීමට කටයුතු කිරීම, පෙර වෙසක් උත්සව වලටත් වඩා මෙවර බෞද්ධ කොඩි හා වෙසක් පහන් කූඩු වලින් සැරසිලි කිරීම, මංමාවත්වල පොල් තෙල් පහන් දල්වා ආලෝකමත් කිරීම, නගර වාසීන්, රාජ්‍ය ආයතන හා විහාරස්ථාන ඇතුළු සෑම ස්ථානයකම ඉදිරිපස මංමාවත් සැරසිලි කිරීම, තරුණ තරුණියන් හා පවුල් වශයෙන් කල්ලි කණ්ඩායම් නොගැසී විනෝද චාරිකාවන්ගෙන් මිදී තම ගමේ පන්සල ඇසුරු කරමින් සිංහල බෞද්ධ අභිමානය රැකගැනීමට හා වෙසක් පොහොය දිනය භය බිරාන්තිය මකා දමන සාමකාමී එඩිතර සැදැහැසිත් ඇති කරවන පරෝපකාරී අවිහිංසාවාදී මෙත් වඩන දානමාන සීල භාවනා ධර්ම ශ්‍රවණ ආදී වත්පිළිවෙත් පිරි දිනයක් බවට මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය පත්කර ගැනීමට කටයුතු කරන ලෙස මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය මගින් අවධාරණය කරන ලදි.


මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා, ගරු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා හා ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එච්.මාරපන මහතා ඇතුළු ආරක්ෂක අංශ සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...