Wednesday, May 29, 2019

මාතර - වී අලෙවි මණ්ඩලයෙන් රුපියල් මිලියන 7.4 ක් වැය කරමින් වී කිලෝ 196400 ක් මිල දී ගනී


2018 / 2019 මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ 
රුපියල් මිලියන 7.4 ක් වැය කරමින් මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 114 දෙනෙකුගෙන් 
වී කිලෝ 196400 ක් මේ වන විට මිල දී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශිය 
කළමනාකරු සුනිල් ඕබඩආරච්චි මහතා සඳහන් කරයි.
 
නාඩු වී කිලෝවක් රුපියල් 38 ක් සහ සම්බා වී කිලෝවක් රුපියල් 41 ක් වශයෙන් වී 
මිල දී ගැනීම සිදු කරන ලදි. ඒ එක් ගොවි මහතෙකුගෙන් වී කිලෝ 2000 ක උපරිමයකට 
යටත්වයි. ගොවීන් සඳහා සියලු ගෙවීම් සිදුකරන ලද්දේ මාතර දිස්ත්‍රික් ලේකම් 
කාර්යාලය මගිනි. 
 
වී මෙට්‍රික් ටොන් 500 ක් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 30 ක මූල්‍ය ප්‍රතිපාදන මාතර 
දිස්ත්‍රික්කය සඳහා වෙන්කර තිබේ. එයින් රුපියල් මිලියන 10 නැවත පැවරීමෙන් පසු තවත් 
රුපියල් මිලියන 12.3 ක් වී මිල දී ගැනීම සඳහා ඉතිරිව ඇත.
 
රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වී සඳහා ස්ථාවර මිලක් 
ගොවීන්ට ලබා ගැනීමට හැකි වූ බවත් මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වා ගැනීමට කටයුතු 
කිරීම ගොවීන්ට මහත් සහනයක් බවත් මේ පිළිබඳව අදහස් දැක් වූ මාතර දිස්ත්‍රික් ගොවි 
සංවිධාන බල මණ්ඩලයේ සභාපති කරුණාදාස පල්ලියගේ මහතා සඳහන් කළේ ය.

සමථකරණය හා ගැටුම් නිරාකරණ ශිල්ප ක්‍රම පිළිබඳව මාතර රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම හෙට (30)


අධිකරණ අමාත්‍යංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් රාජ්‍ය නිලධාරීන්, පාසල් දරුවන් හා 
ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව සිදු කරනු ලබයි. ඊට සමගාමීව සමථකරණය හා
ගැටුම් නිරාකරණ ශිල්ප ක්‍රම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හෙට (30) දින 
පෙ.ව.9.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
 
කාර්යාලීය කටයුතු වඩාත් ඵලදායීව ඉටු කිරීම උදෙසා සමථකරණය හා ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් 
වන විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරේ. අධිකරණ අමාත්‍යංශයේ සමථ වැඩසටහන් 
නිලධාරී චින්තක රාජකරුණා මහතා මේ සඳහා සම්පත් දායකත්වය සපයයි.
 
මණ්ඩල කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මත මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 
වැඩසටහන සංවිධානය කරන බව සමථ නිලධාරී මේනකා සමන්ති මහත්මිය පැවසුවා ය.

Monday, May 27, 2019

මාතර - කජු පැළ ‌බෙදා දීම

පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනින් මාතර රාජ්‍ය නිලධාරීන්ට කජු පැළ 2670 ක්


ජනාධිපති කාර්යාලයේ පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමීව 
මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාව මගින් නිෂ්පාදනය 
කරන ලද කජු පැළ 2670 ක් බෙදා දීම පසුගියදා සිදු කෙරිණි. එහි සමාරම්භක වැඩසටහන 
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් 
ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
 
ඒ අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කජු පැළ 400 ක් ද, මාතර කඩවත් සතර ප්‍රාදේශිය 
ලේකම් කාර්යාලයට කජු පැළ 365 ක් ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කජු පැළ 350 ක් ද, 
අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කජු පැළ 375 ක් ද, කොටපොළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට 
කජු පැළ 400 ක් ද, හක්මණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කජු පැළ 230 ක් ද, කඹුරුපිටිය ප්‍රාදේශිය 
ලේකම් කාර්යාලයට කජු පැළ 200 ක් ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කජු පැළ 350 ක් ද 
වශයෙන් කජු පැළ 2670 බෙදා දීම සිදු කරන ලද බව මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ 
අයි.ආර්.එන්.අබේදීර මහත්මිය පැවසුවා ය.
 
සමාරම්භක අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, 
මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා සහ මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් 
නදී ජයවික්‍රම මහත්මිය ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් පිරිසක් 
සහභාගි වී සිටියහ.

Thursday, May 23, 2019

නිල් ගං තෙර සොඳුරු සුයාමය - වෙසක් බැති ගී සරණිය මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී


මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නංවන ලද නිල් ගං
තෙර සොඳුරු සුයාමය රසවින්දනාත්මක 
වැඩසටහන් මාලාවේ තුන්වන දිගහැරුම වෙසක්
 බැති ගී සරණිය 2019 වෙසක් පුන් පොහෝ දිනයට 
සමගාමීව මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතාගේ හා මාතර අතිරේක 
දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් 
කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගායේ දී පැවැත්විණි.

 
ඒකාකාරී ජීවන රටාවකට හුරුවී සිටින රාජ්‍ය නිලධාරියා රාජකාරි සීමාවෙන් ඔබ්බට ගෙන ගොස් චිත්ත සන්තානය සුඛී සුවපත් භාවයට පත් කිරීම අරමුණු කර ගනිමින් මෙම රසවින්දනාත්මක වැඩසටහන් මාලාව සංවිධානය කරන ලදි.

නවක උපාධිධාරී අභ්‍යාසලාභීන් තුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් මෙහි ඉදිරිපත් 
කිරීම් සිදු කළහ.
 
‘නිල් ගං තෙර සොඳුරු සුයාමය‘ සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් දායක වූ අතර සංගීත විශාරද නුරාන් ලියනගේ මහතා සංගීතයෙන් ද, ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරී සංගීත විශාරද නිශාන්ත පෙරේරා මහතා කථනයෙන් ද දායක වුහ.


මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් 300 ට අධික පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිල් ගං තෙර සොඳුරු සුයාමය සංවිධානය කරන ලදි.

නවීන් දිසානායක මහතා මාතර දී මාධ්‍යට කියූ සම්පූර්ණ කතාව ‌

දෙවිනුවර රාජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් මිලියන 26 ක්


ඓතිහාසික දෙවිනුවර රාජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 26 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ. එයින් රුපියල් මිලියන 15 ක් වැය කරමින් මේ වන විට සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකරමින් පවතින අතර තවත් රුපියල් මිලියන 11 ක් වැය කරමින් සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත ය. ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

මෙම තොරතුරු අනාවරණය වූයේ දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලය හා දෙවිනුවර රාජමහා විහාරස්ථානය පිහිටි දෙවිනුවර පූජා භූමිය හා සම්බන්ධ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට පත්කර තිබෙන දෙවිනුවර පූජාභූමි සංවර්ධන සමාලෝචන කමිටු රැස්වීම මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන්.එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) දින මාතර දිස්ත්‍රික් ලේකම් නිළ සාකච්ඡා කාමරයේ දී පැවැති අවස්ථාවේ දී ය.

මෙහි දී දෙවිනුවර පූජාභූමියේ ඉදිකිරීම් කටයුතු හා නඩත්තු කටයුතු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.

මේ අවස්ථාවට දෙවිනුවර රාජමහා විහාරස්ථානයේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් රංජිත් යාපා මහතා ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, දෙවිනුවර ප්‍රාදේශිය සභාව ඇතුළු ආයතන රැසක නිලධාරීන් සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය බෞද්ධ කටයුතු අංශය රැස්වීම සංවිධානය කරන ලදි.



අභිමානවත් 47 වන ජනරජ දිනය මාතර දී සැමරේ


අභිමානවත් 47 වන ශ්‍රී ලංකා ජනරජ දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික් ජනරජ දින සැමරුම මාතර අතිරේක දිසත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

1948 පෙබරවාරි 04 දින සිට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් මිදුන ද තවදුරටත් බ්‍රිතාන්‍ය රජුගේ කිරීටය යටතේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් පමණක් හිමිව තිබුණි. ඒහෙත් 1972 ජනරජ ව්‍යවස්ථාවත් සමඟ ශ්‍රී ලංකාව ජනතාවට වග කියන සම්පූර්ණයෙන් ස්වෛරී සහ නිදහස් රාජ්‍යයක් බවට පත්විය. එය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1972 මැයි මස 22 වැනිදා මහනුවර ‌ඓතිහාසික මඟුල් මඩුවේ දී ය.

මෙහි දී 1972 ජනරජ ව්‍යවස්ථා කෙටුම්පත ජාතික රාජ්‍ය සභාව විසින් සකස් කිරීම, මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගත් නායකයන්ගේ දායකත්වය ඇගයීම, ජනරජ ව්‍යවස්ථාවත් සමඟ ම ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන් මිදුනු, ස්වෛරී නිදහස් ජාතියක් බවට පත්වීම, ජනතාවට වගකියන ජනරජයක් බවට පත්වීම හා අප රටට ගැලපෙන පරිපාලනමය හා ආර්ථිකමය වෙනස්කම් සිදු කිරීමට බලතල ලැබීම ආදිය පිළිබඳව මාතර අතිරේක දිසත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා විසින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්යමණ්ඩලය දැනුවත් කරන ලදි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ.

Omare Kassapa Nahimi - ඕමාරේ කස්සප නාහිමිපාණන්

Sasunata Eliyak - වැවිලි සවියෙන් - සසුනට එළියක්

වැවිලි සවියෙන් - සසුනට එළියක් වැඩසටහන යටතේ මාතර හා හම්බන්තොට ආගමික සිද්ධස්ථාන වලට රුපියල් මිලියන 19.30 ක්


කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වැවිලි සවියෙන් - සසුනට එළියක් වැඩසටහන යටතේ මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්වල ආගමික සිද්ධස්ථාන 92 ක් සඳහා රුපියල් මිලියන 19.30 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ.

මේ තොරතුරු අනාවරණය වූයේ ආගමික සිද්ධස්ථාන වලට ස්ථිර ආදායම් මාර්ගයක් ඇතිකර දීමේ අරමුණ සහිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත වැවිලි සවියෙන් - සසුනට එළියක් වැඩසටහනේ සමාරම්භක උත්සවය වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මාතර වෙරළ පාරේ Grand Navro හෝටලයේ දී පැවැති අවස්ථාවේ දී ය.


වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය තුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත වැවිලි සවියෙන් - සසුනට එළියක් වැඩසටහන යටතේ තේ වගා සහනාධාර ප්‍රතිපාදන ලබා දීම මගින් ආගමික සිද්ධස්ථාන ආශ්‍රිත ඉඩම්වල තේ වගා කිරීම සිදු කිරීමට නියමිත ය.


බෞද්ධ විහාරස්ථාන 90 ක් සඳහා රුපියල් 18,859,867.50 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර එයින් රුපියල් 4,380,178.74 ක මුදලක් මෙදින ප්‍රදානය කරන ලදි. කතෝලික දේවස්ථාන එකක් සඳහා රුපියල් 172,152.50 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර එයින් රුපියල් 33,860.00 ක මුදලක් මෙදින ප්‍රදානය කරන ලදි. හින්දු කෝවිල් එකක් සඳහා රුපියල් 273,172.50 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර එයින් රුපියල් 60,705.00 ක මුදලක් මෙදින ප්‍රදානය කරන ලදි. ඒ අනුව ආගමික සිද්ධස්ථාන 92 ක් සඳහා රුපියල් 19,305,192.50 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර එයින් රුපියල් 4,474,743.74 ක මුදලක් මෙදින ප්‍රදානය කරන ලදි. ඉඩම්වල සංවර්ධන කටයුතු සිදු කරන ආකාරය අනුව ඉතිරි මුදල් වාරික වශයෙන් ලබා දීමට නියමිත ය.


මාතර හා හමිබන්තොට දිස්ත්‍රික්කවල අධීක්ෂණ කටයුතු කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මාතර ප්‍රාදෙශිය කාර්යාලයේ ප්‍රාදේශිය කළමනාකරු ආචාර්ය ජී.ජී.බන්දුල මහතා සහ කුඩා තේ රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතියේ දිස්ත්‍රික් ව්‍යාපෘති කළමනාකරු එම්.ඩබ්.දීපාල් නිශාන්ත මහතා සිදු කරති.

මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ තේ වගා කිරීමට අපේක්ෂිත විහාරස්ථාන වල ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළුව මහා සංඝරත්නය සියක් නමක් පෙරහැරකින් උත්සව භූමිය වෙත වැඩම කරවීම ද සිදු කෙරිණි.


මෙම උත්සව අවස්ථාවට ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ අධිකරණ සංඝ නායක අධ්‍යාපන අමාත්‍යංශයේ ජනාධිපති උපදේශක ඕමාරේ කස්සප නාහිමිපාණන් සහ කොත්මලේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මඩකුඹුරේ ලංකානන්ද නාහිමිපාණන් ඇතුළු ගෞරවණීය ස්වාමීන් වහන්සේලා, ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් හා තේ වගාකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

අන්තර් ආගමික සහජීවනය වඩාත් ශක්තිමත් කිරීම අරමුණුකර ගනිමින් සියලු ආගමික නායකයින් ඒකරාශී කරගෙන මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත ය.



Tuesday, May 21, 2019

මාතර දිස්ත්‍රික් සිවිල් සංවිධාන සම්මේලනය රැස්වේ


මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන එකමුතුවෙන් පිහිටුවන ලද මාතර දිස්ත්‍රික් සිවිල් සංවිධාන සම්මේලනය මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී ක්ෂුද්‍ර මූල්‍යකරණය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් මාතර දිස්ත්‍රික් ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධීකාරක ගයාන් විතාරණ මහතා විසින් සිදු කරන ලදි.

2019 වර්ෂයේ ඉදිරිවැඩසටහන් සැලස්ම පිළිබඳව හා පසුගිය ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධානවල හා ස්වේච්ඡා සිවිල් සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Monday, May 20, 2019

වැවිලි සවියෙන් - සසුනට එළියක් වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අද (21) මාතර Grand Navro හෝටලයේ දී


ආගමික සිද්ධස්ථාන වලට ස්ථිර ආදායම් මාර්ගයක් ඇතිකර දීමේ අරමුණ සහිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත වැවිලි සවියෙන් - සසුනට එළියක් වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින ප.ව.2.30 ට මාතර වෙරළ පාරේ Grand Navro හෝටලයේ දී පැවැත්වේ.

වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය තුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත වැවිලි සවියෙන් - සසුනට එළියක් වැඩසටහන යටතේ තේ වගා සහනාධාර ප්‍රතිපාදන ලබා දීම මගින් ආගමික සිද්ධස්ථාන ආශ්‍රිත ඉඩම්වල තේ වගා කිරීම සිදු කිරීමට නියමිත ය.

මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ තේ වගා කිරීමට අපේක්ෂිත විහාරස්ථාන වල ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළුව මහා සංඝරත්නය සියක් නමක් පෙරහැරකින් උත්සව භූමිය වෙත වැඩම කරවීමට ද සැලසුම්කර ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශිය කළමනාකරු ආචාර්ය ජී.ජී.බන්දුල මහතා සඳහන් කරයි.

මෙම උත්සව අවස්ථාවට ගෞරවණීය ස්වාමීන් වහන්සේලා, ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.

Wednesday, May 8, 2019

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමේ දී වෙසක් උත්සවය සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දු තීරණ රැසක්


රටේ ඇතිවී තිබෙන තත්ත්වය‌ හේතුවෙන් මෙවර වෙසක් උත්සවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය මගින් විශේෂ රැස්වීමක් පවත්වන ලදි. මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පරදුව ජිනරතන නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඊයේ (08) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානාත්මකව හා ආරක්ෂාකාරීව කටයුතු කිරීම සඳහා පෙරහැර, දන්සල් හා තොරණ පැවැත්වීම නතර කර බණ දහමට මුල්තැන දී කටයුතු කිරීමට සාමූහික එකඟතාවයකට එළඹිණි.

මීට අමතරව ගම්වැසියන් සියලු දෙනා තමන්ගේ ගමේ පන්සලේ ආරක්ෂාව වෙනුවෙන් වෙනදාට වඩා ප්‍රමුඛතාව ලබාදීම, ගමේ හැමදෙනාම ඒකතු වී සීල භාවනා පුද පූජා කටයුතු වලට සහභාගි වීම, ආරක්ෂාව සඳහා ගමේ තරුණ වැඩිහිටි සියලු දෙනාම අනවශ්‍ය බෑග් හා පාර්සල් නොගෙන මල් පහන් ආදිය පමණක් රැඟෙන පන්සලට පැමිණීම, නන්නාදුනන අය පන්සලට පැමිණීම වැළැක්වීමට කටයුතු කිරීම, පෙර වෙසක් උත්සව වලටත් වඩා මෙවර බෞද්ධ කොඩි හා වෙසක් පහන් කූඩු වලින් සැරසිලි කිරීම, මංමාවත්වල පොල් තෙල් පහන් දල්වා ආලෝකමත් කිරීම, නගර වාසීන්, රාජ්‍ය ආයතන හා විහාරස්ථාන ඇතුළු සෑම ස්ථානයකම ඉදිරිපස මංමාවත් සැරසිලි කිරීම, තරුණ තරුණියන් හා පවුල් වශයෙන් කල්ලි කණ්ඩායම් නොගැසී විනෝද චාරිකාවන්ගෙන් මිදී තම ගමේ පන්සල ඇසුරු කරමින් සිංහල බෞද්ධ අභිමානය රැකගැනීමට හා වෙසක් පොහොය දිනය භය බිරාන්තිය මකා දමන සාමකාමී එඩිතර සැදැහැසිත් ඇති කරවන පරෝපකාරී අවිහිංසාවාදී මෙත් වඩන දානමාන සීල භාවනා ධර්ම ශ්‍රවණ ආදී වත්පිළිවෙත් පිරි දිනයක් බවට මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය පත්කර ගැනීමට කටයුතු කරන ලෙස මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය මගින් අවධාරණය කරන ලදි.


මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා, ගරු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා හා ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එච්.මාරපන මහතා ඇතුළු ආරක්ෂක අංශ සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් සිවිල් සංවිධාන සම්මේලනය මැයි 10 වැනිදා මාතර දී රැස්වේ


මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන එකමුතුවෙන් පිහිටුවන ලද මාතර දිස්ත්‍රික් සිවිල් සංවිධාන සම්මේලනය මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 10 වැනිදා පෙ.ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙහි දී ක්ෂුද්‍ර මූල්‍යකරණය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් සිදු කිරීමට නියමිත අතර ඊට අමතරව 2019 වර්ෂයේ ඉදිරිවැඩසටහන් සැලස්ම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත ය.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධානවල හා ස්වේච්ඡා සිවිල් සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.

Monday, May 6, 2019

පුහුල්වැල්ල - වලකන්ද පුරාණ විහාරස්ථ බුද්ධ ප්‍රතිමා වහන්සේට නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පුණ්‍ය මහෝත්සවය මැයි 16 වැනිදා



ප්‍රදේශයේ ජනතාව විසින් රුපියල් ලක්ෂ 50 ට අධික මුදලක් වැය කරමින් විචිත්‍රවත්ව ප්‍රතිසංස්කරණය කරන ලද වර්ෂ සියයකට අධික කාලයක් තිස්සේ ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ වන්දනා මානයට පාත්‍ර වූ කිරින්ද - පුහුල්වැල්ල, වලකන්ද පුරාණ විහාරස්ථානයෙහි පැරණි විහාර මන්දිරය හා ‌බුද්ධ ප්‍රතිමා වහන්සේ, සූවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ ශ්‍රී විෂ්ණු කතරගම දේව ප්‍රතිමා වහන්සේලාගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කිරීම 2019 මැයි මස 16 වැනිදා අළුයම 3.00 ට යෙදෙන පුණ්‍යවන්ත මොහොතින් සිදු කෙරේ.



මෙම පුණ්‍ය මහෝත්සවයට සමගාමීව සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් තුන් තිස් පැයේ පරිත්‍රාණ ධර්ම දේශනයක් මැයි මස 15 දින ආරම්භ කර මැයි මස 17 දින දක්වා පැවැත්වේ.



තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 15 ක් වැය කරමින් ඉදිකරන ලද ශ්‍රී සම්බුද්ධ ද්වාර මන්දිරය මැයි මස 16 දින උදෑසන 6.00 ට යෙදෙන පුණ්‍යවන්ත මොහොතින් සාමවිනිසුරු තිලකවංශ විදානගම මහතාගේ සුරතින් විවෘත කෙරේ. එදිනම උදෑසන ප්‍රථම සම්බුද්ධ පූජාව හා දේව පූජාව, එදින දහවල් ප්‍රථම ක්ෂීරපායාස පූජාව හා එදින රාත්‍රී ප්‍රථම ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වේ.




මැයි මස 17 දින උදෑසන සපිරිකර සංඝගත දක්ෂිණාව හා රාත්‍රී අටවිසි ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වේ.

මැයි 18 වෙසක් පසළොස්වක පොහෝ දින දවස පුරාම වලකන්ද පුරාණ විහාරස්ථානයේ පින්කම් රැසක් පැවැත්වේ.



වලකන්ද පුරාණ විහාරාධිපති වලකන්දේ භද්දිය නාහිමියන්ගේ පූර්ණ ආශිර්වාදය හා මගපෙන්වීම යටතේ විහාරස්ථ දායක සභාවේ මැදිහත්වීමෙන් මෙම පින්කම් මාලාව සංවිධානය කෙරේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...