Thursday, July 4, 2019

“රටක් සංවර්ධනය කිරීමට නම් මව් බස භාවිතා කළ යුතුමයි”


ලෝකයේ ඔනෑම රටක් සංවර්ධනය කිරීමට නම් තම මව් භාෂාව භාවිතා කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්.අබේරත්න මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පලකළේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ මාතර දිස්ත්‍රික් වැඩසටහන සඳහා එක් වෙමිනි.

මාතර - කොටුව ජනාධිපති විද්‍යාලයේ පැවති මෙම වැඩසටහන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්.අබේරත්න මහතාගේ හා මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සභාපති වරයා තවදුරටත් අදහස් දැක්වීය. ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීමට නම් අපේ මව් භාෂා වන සිංහල හා දෙමළ භාෂා සන්නිවේදන භාෂා වශයෙන් භාවිතා කළ යුතුයි. ඒ සඳහා රජය ප්‍රතිපත්ති තීන්දු නොගන්නා තාක් කල් මේ රට දියුණු කළ නොහැකියි. අම්මා අමතක කර අපට දු ගමනක් යන්න බැහැ. අපි ඉංග්‍රීසියෙන් වැඩ කරන විට සන්නිවේදනය නිවැරදිව ජනතාව අතරට යන්නෙ නැහැ. දකුණු ආසියාවේ සියලු ම රටවල් ඉංග්‍රීසියෙන් නෙමෙයි වැඩ කළේ. චීනය, ඉන්දියාව, ජපානය, කොරියාව අපිට උදාහරණට ගන්න පුළුවන්. සන්නිවේදන රික්තය තියෙන්නෙ භාෂාව මත. ඔබ ඉංග්‍රීසි ගැඹුරින් ඉගෙන ගත යුතුයි. ඒක අමාරු දෙයක් නෙමෙයි. ලෝකයේ නව දැනුම සම්බන්ධව පොත්පත් තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒවා කියවා දැනුම ලබා ගන්න. එහෙත් දරුවනේ ඉංග්‍රීසි භාෂාවට තම මව් භාෂාව මරන්න ඉඩ දෙන්න එපා.


මෙහි දී පුද්ගල පෞරුෂ සංවර්ධනයට ආකල්ප හා සන්නිවේදනයේ බලපෑම පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්.අබේරත්න මහතා විසින් පාසල් ළමුන් දැනුවත් කරන ලදි. අන්තර්ජාල අවභාවිතය හා ළමා ආරක්ෂාව පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරී චම්පික අයගම මහතා විසින් ළමුන් දැනුවත් කෙරිණි.

මේ අවස්ථාවට මාතර - කොටුව ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති චමින්ද ගුණවර්ධන මහතා ඇතුළු පාසලේ ගුරුභවතුන්, මාතර බෝධි ආරක්ෂක සභාවේ නිලධාරීන්, ළමා ආරක්ෂක නිලධාරීන් හා පාසල් ළමුන් 200 ට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර කොටුව ජනාධිපති විද්‍යාලීය ජනමාධ්‍ය සංසදය එක්ව මාතර බෝධි ආරක්ෂක සභාවේ ද සහාය ලබාගෙන මෙම වැඩසටහන සංවිධානය කරන ලස බව ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරී යූ.ජී.කුසුම්ලතා මහත්මිය පැවසුවා ය.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...