Monday, July 29, 2019

දෙවිනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය අගෝස්තු 08 වැනිදා ඇරඹේ

රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 08 වැනිදා සවස 3.24 ට යෙදෙන සුභ මොහොතින් පළමුවෙනි පේළි පෙරහැරත් සමඟ ආරම්භ කෙරේ.

ඒ බව අනාවරණය කෙරුණේ දෙවිනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති රැස්වීමකදී ය.

දින හයක් පුරා සන්ධ්‍යා භාගයේ දී පේළි පෙරහැර පැවැත්වෙන අතර ඒ අනුව පළමුවන පේළි පෙරහැර පිටත්වීම අගෝස්තු 08 වැනිදා සවස 3.24 ට යෙදෙන සුභ මොහොතින් ද, දෙවන පේළි පෙරහැර පිටත්වීම අගෝස්තු 09 වැනිදා සවස 5.04 ට යෙදෙන සුභ මොහොතින් ද, තුන්වන පේළි පෙරහැර පිටත්වීම අගෝස්තු 10 වැනිදා සවස 5.08 ට යෙදෙන සුභ මොහොතින් ද, හතරවන පේළි පෙරහැර පිටත්වීම අගෝස්තු 11 වැනිදා සවස 5.08 ට යෙදෙන සුභ මොහොතින් ද, පස්වන පේළි පෙරහැර පිටත්වීම අගෝස්තු 12 වැනිදා සවස 5.05 ට යෙදෙන සුභ මොහොතින් ද, හයවන පේළි පෙරහැර පිටත්වීම අගෝස්තු 13 වැනිදා සවස 5.21 ට යෙදෙන සුභ මොහොතින් ද සිදු කිරීමට නියමිත ය.

ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අගෝස්තු 14 වැනි දින සවස 4.40 ට යෙදෙන සුභ මුහුර්තියෙන් දක්ෂිණ දිසාභිමුඛව දේවලයෙන් පිටත්ව දකුණු වාහල්කඩින් පෙරහැර මාර්ගයට පිවිස ඉතා උත්කර්ෂවත් අන්දමින් රන්දෝළි මහා පෙරහැර වීථි සංචාරය කෙරේ.

අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහිතව පැවැත්වෙන රන්දෝළි මහා පෙරහැර සඳහා නර්තන කණ්ඩායම් සියයකට අධික ප්‍රමාණයක් සහභාගි කරවීමට සැලසුම් කර තිබේ.

චන්ද්‍රබාහු නම් ආක්‍රමණිකයාගෙන් රට බේරා ගැනීම සඳහා දෙවිනුවර උත්පලවර්ණ දෙවියන්ට වූ භාරයක් ඔප්පු කරනු වස් දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1257 දී ප්‍රථම වරට ආරම්භ කරන ලද දෙවිනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 762 වන වරට ය.

අගෝස්තු 15 වැනිදා සිට දින හතක් සල්පිල පැවැත්වෙන අතර අගෝස්තු 22 දින තුන්යම් රාත්‍රිය මුළුල්ලේ දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය පවත්වා ගිණි පාගා අගෝස්තු 23 දින පෙ.ව. 11.00 ට දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට පත් කෙරේ.

දෙවිනුවර ඓතිහාසික රාජමහා විහාරාධිපති දෙවිනුවර සුනන්ද නාහිමියන් සහ ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ කේ.එච්. නන්දසිරි මහතා, ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ප්‍රධාන කපු දුරන්ධර රාමක්‍රිෂ්ණ තේනබදු මහතා  ඇතුළු පෙරහැර කමිටුවට සම්බන්ධ සියලු ආයතන හා නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

Monday, July 22, 2019

97 වන ජාත්‍යන්තර සමුපකාර දිනය ගරු අග්‍රාමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා අභිමානවත්ව මාතර දී සැමරේ


“සුපසන් සේවයක් සඳහා සමුපකාරය” මැයෙන් 97 වැනි ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජාවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
 
සෑම වර්ෂයකම ජූලි මස පළමුවන සෙනසුරාදා දිනය ජාත්‍යන්තර සමුපකාර දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව මෙවර ජාත්‍යන්තර සමුපකාර දිනය ජූලි 06 වැනිදාට යෙදී තිබුණි. 

ජාත්‍යන්තර සමුපකාර සන්ධානය 1923 වසරේ සිට ජූලි මස පළමුවන සෙනසුරාදා දින ජාත්‍යන්තර සමුපකාර දිනය සමරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම සැමරුමට එක් වූයේ 1995 වර්ෂයේ සිට බැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර සමරනු ලබන්නේ 25 වැනි සමුපකාර දිනයයි.

ජාත්‍යන්තර සමුපකාර සන්ධානය විසින් 97 වන ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් හඳුන්වාදෙන ලද සමුපකාර දින ලාංඡනය සහ 97 වන ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් නිර්මාණය කරන ලද ෆේස්බුක් පිටුව ගරු අග්‍රාමාත්‍ය තුමා අතින් ඩිජිටල් ක්‍රමයට විවෘත කිරීම, ජාතික සමුපකාර ව්‍යාපාරයට අදාළ සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් සකස් කරන ලද ජාතික සමුපකාර ප්‍රතිපත්තිය අග්‍රාමාත්‍ය තුමා අතින් ඩිජිටල් ක්‍රමයට සමුපකාර ව්‍යාපාරය වෙත පිළිගැන්වීම, 97 වන ජාත්‍යන්තර සමුපකාර දින උත්සවය වෙනුවෙන් සකස් කරන ලද සමරු ඵලකය, 97 වන ජාත්‍යන්තර සමුපකාර දිනය අර්ථගන්වමින් උතුරු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් වරයා විසින් සකස් කරන ලද සටහන කර්මාන්ත, වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ගරු අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමා අතින් ගරු අග්‍රාමාත්‍ය වරයා වෙත පිළිගැන්වීම ආදී කටයුතු ද මෙහි දී සිදු කරන ලදි.

කර්මාන්ත, වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ගරු අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, කර්මාන්ත, වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එන්.රංජිත් අසෝක මහතා හා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, සමුපකාර සාමාජිකයින් ඇතුළු පිරිසක් සමුපකාර දින සැමඑරුම් උත්සවය සඳහා සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන (ළමා නිවාස) පාලන අධිකාරිය හා කාර්යමණ්ඩලය දැනුවත් කෙරේ


ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන මාතර දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන (ළමා නිවාස) පාලන අධිකාරිය හා කාර්ය මණ්ඩලය සඳහා මනෝ සමාජීය ක්‍රියාකාරකම් සහිත දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 
ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින ළමුන්ට වඩාත් සුරක්ෂිත ආයතන පරිසරයක් ඇති කරලීම උදෙසා ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි පාලන අධිකාරිය හා කාර්ය මණ්ඩලයේ දැනුම, ආකල්ප හා කුසළතා සංවර්ධනය කිරීමේ අරමුණින් එම නිලධාරීන්හට මනෝ සමාජීය ක්‍රියාකාරකම් ඇතුළත් දැනුවත් කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් දීප ව්‍යාප්තව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරනු ලබන අතර මෙදින පවත්වන ලද්දේ එහි මාතර දිස්ත්‍රික් වැඩසටහනයි.

මෙහි දී ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරී යූ.ජී. කුසුම්ලතා මහත්මිය ඇතුළු ළමා ආරක්ෂක නිලධාරීන් දැනුවත් කිරීම් සිදු කරන ලදි.

මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ළමා සංවර්ධන මධ්‍යස්ථාන නියෝජිතයින් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...