Wednesday, December 18, 2019

ඩෙංගු රෝගීන් 3600 ක් මාතරින් - ඩෙංගු මර්දනය සඳහා වැඩසටහන් රැසක් - මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ


මාතර දිස්ත්‍රික්කයෙන් මේවන විට ඩෙංගු රෝගීන් 3600 ක් වාර්තාවී ඇති බව මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.ඩී.යූ.කරුණාරත්න මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ය.

මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ මාතර නගර සභා බල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 1218 කි. දික්වැල්ලෙන් 323 ක්, වැලිගමින් 292 ක් හා දෙවිනුවරින් 243 ක් වාර්තා වේ. අඩුම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කිරින්ද - පුහුල්වැල්ලෙන් වන අතර එම සංඛ්‍යාව 61 කි. තිහගොඩින් 64 ක් හා අතුරලියෙන් 71 ක් වාර්තා වේ.

මාතර දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝගීන් පස්දෙනෙකු මිය ගොස් ඇත. මාතරින් තිදෙනෙකු, වැලිගමින් එක් අයෙකු හා මාලිම්බඩින් එක් අයෙකු වශයෙනි.

2017 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 6333 කි. 2018 වර්ෂයේ 1163 කි. මේ වසරේ 2018 වර්ෂයට වඩා දෙකුණයකින් ඩෙංගු රෝගීන් ප්‍රමාණය වැඩි වී තිබේ.

රෝගියෙකු වාර්තාවූ විට ඔහුගේ නවස අශ්‍රිත මීටර් 100 ක වපසරිය ධූමායනය සිදු කරයි. ඉවතළන භාජනවල ජලය එක්රැස් වීමෙන් 50% ක් ඩෙංගු මදුරුවන් බෝවන බව ද හෙි දී අනාවරණය විය. ගෙයින් ගෙට ගොස් පරීක්ෂා කිරීම්, පාසල් දැනුවත් කිරීම් හා පොදු ස්ථාන පරීක්ෂා කිරීම් සිදු කෙරේ. ‌ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව විවිධ ආයතන ආශ්‍රිතව ද පවතින බැවින් ආයතන පරිශ්‍ර පිරිසුදු කිරීම සතිපතා කළ යුතු බව ද අවධාරණය කෙරිණි.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, තේ කර්මාන්ත ගරු රාජය අමාත්‍ය කංචන විජේසේකර මහතා, මාතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝජ් සිරිසේන මහතා හා බුද්ධික පතිරණ මහතා, මාතර නගරාධිපතිතුමා, ප්‍රාදේශිය සභා සභාපතිවරු ඇතුළු ජනතා නියෝජිතයින් සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ දෙපාර්තමේන්තු / ආයතන ප්‍රධානීන් හා ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ක්‍රමසම්පාදන අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...