Monday, August 26, 2019

නිල්වලා ගඟේ පරිසර හානි සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක්


මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීරණයක් මත කමිටුවේ සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර තොටමුණ මෝය සමීපයේ සිට අකුරැස්ස දක්වා වූ කොටසේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.

නිල්වලා ගඟ ආශ්‍රිත අනවසර ඉදිකිරීම්, ගංඉවුරු ගොඩකරමින් කරන ලද ඉදිකිරීම්, පස් කඳු කපා දමා ගඟ ගොඩ කිරීම, කැලිකසළ ගඟට දැමීම, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගඟට බැහැර කිරීම, නිවෙල්වල කුණු කසළ ඇතුළු අපද්‍රව්‍ය ගඟට බැහැර කිරීම, කර්මාන්ත ශාලා හා ව්‍යාපාරික ස්ථානවල අපද්‍රව්‍ය ගඟට බැහැර කිරීම, අපද්‍රව්‍ය මිශ්‍ර අපජල නළ ගඟට යොමු කිරීම, මස් කඩවල අපද්‍රව්‍ය ගඟට දැමීම, මාතර කතරගම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය මගින් හා මාතර කතරගම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මගින් ගඟ හරස් කර ඇති ආකාරය, අපද්‍රව බැහැර කිරීම් ආදී නිල්වලා ගඟ අපිරිසිදු කරන නීති විරෝධී ක්‍රියා රැසක් පිළිබඳව මෙහිදී නිරීක්ෂණය කෙරිණි.

මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, නාවික හමුදාව, මාතර මහා නගර සභාව, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, අකුරැස්ස ප්‍රාදේශිය සභාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් හා මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් පිරිසක් මෙම මෙහෙයුම සඳහා එක් වී සිටියහ.

ඒ ඒ රාජ්‍ය ආයතන නිරීක්ෂණය කළ නිල් වලා ගඟ හා සම්බන්ධ ගැටළු පිළිබඳ වාර්තාවක් ඉදිරි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කෙරෙන අතර එම වාර්තා අනුව මේ සම්බන්ධව විද්වත් වාර්තාවක් සකස් කිරීමට නියමිත ය. ඒ අනුව ඉදිරි නීතිමය කටයුතු සිදු කෙරේ.

මෙහි දී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ 800,000 කට අධික ජනතාවගෙන් 80% ක් පානය කරන්නේ නිල්වලා ගඟේ ජලය වන බැවින් නිල්වලා ගඟ ආරක්ෂා කර ගැනීම හා ගඟ ආශ්‍රිත නීති විරෝධී ක්‍රියා නතර කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදීමට කැපවීම සියලු දෙනාගේ වගකීමක් බවයි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...